Posted on Leave a comment

ප්ලාස්ටික් වලින් සිදුවන පරිසර දූෂණය ගැන ඔබ නොදත් කරුණු

ප්ලාස්ටික්!!!

වර්ෂ 1907දී “බේක්ලයිට්” සොයා ගැනීමත් එක්ක ආරම්භ උනු ප්ලාස්ටික් නිෂ්පාදනය අද අති විශාල කර්මාන්තයක්.

අපිට ප්ලාස්ටික් නැතිව ජීවත් වෙන්න බැරි තත්වයක් වගේ දැන් උදා වෙලා තියෙන්නෙ!

ඒ වගේ නේද?

ඔබ දැන් ඉන්න තැන ඉඳන් වටයක් ඔලුව කරකවල බලන්න. ඇත්ත නේද?

ඔබ වටේ දැන් තියෙන දේවල් වලින් ප්ලාස්ටික් නැති දේවල් කීයෙන් කීයද තියෙන්නෙ???

කෝප්ප, පිඟන්, බෝතල්, පෑන්, ෆෝන්, පරිගණක කොටස්, පුටු, මේස, අසුරන, කොතරම් දේවල්ද!!!

ඉතින් ඔහොම තියෙනකොට මේ ප්ලාස්ටික් වලින් පරිසර දූෂණයක් සිදු වන එකත් අනිවාර්යයි නේද?

ප්ලාස්ටික් හරියට වසංගත රෝගයක් වගේ. අපි හැමෝම ඒකට ගොදුරු වෙලා

ලොකුම ප්‍රශ්නය තමයි. මේ එකතු වන ප්ලාස්ටික් කසළ යන්නේ කොහාටද???

පොඩි කොටසක් ප්‍රතිචක්‍රීකරණය කරනකොට, විශාලම කොටස යන්නෙ කසළ ගොඩට. Landfill වලට. සමහරක් ප්ලාස්ටික් කෙලින්ම නිවසෙන් එලියට විසි කරන අයත් ඉන්නව.

මේ කසල වලින් කොටසක් ජල මූලාශ්‍ර වලටත් එකතු වනවා. ඒවා ගංගා දිගේ සාගරයට එකතු වනවා. ඉන්දියන් සාගරයේත්, මෙසේ එකතු වූ ප්ලාස්ටික් අප ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබෙනවා.

ඉතා කුඩා ප්ලාස්ටික් කොටස් (ඇට වැනි) සමහර ද්‍රව්‍ය වල තිබෙනවා. උදා: දන්තාලේප, ස්ක්‍රබ් වර්ග (මූණෙ ගානකොට ඇට ඇට වගේ දැන්නෙන්නෙ ඒව. ගෑණු ළමයින්ට තමා ඉතින් මේ අත්දැකීම තියෙන්නෙ වැඩිපුර)

ඒව පරිසරයට හානියක් නොකළත්, මිනිස් සෞඛ්‍යයට නම් හානියක් සිදු කරනවා.

ප්‍රධානම ගැටළුව වෙන්නේ, ප්ලාස්ටික් ඉක්මනින් දිරපත් නොවීමයි. ප්ලාස්ටික් වල සිදු වන්නේ කොටස් වලට කැඩී යාම පමණයි. දිරාපත් වීමට ඉතා විශාල කාලයක් ගත වනවා.

ඉතින් ප්ලාස්ටික් වලින් සිදුවන පරිසර දූෂණය ගැන එතරම් නොදත් කරුණු ටිකක් අපි කතා කරමු.

ගිය සියවසට සාපේක්ෂව කිහිප ගුණයකින් වැඩි ප්ලාස්ටික් ප්‍රමාණයක් පසුගිය ශතකය තුළදී අපි නිෂ්පාදනය කරල තිබෙනවා.

වසරක් තුළ ප්ලාස්ටික් ටොන් ගණනක් මුහුදට එකතු වෙනවා. වසරකට මෙට්‍රික් ටොන් මිලියන 8ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගර ජලයට එකතු වනවා යයි ගණන් බලා තිබෙනවා. 2025 වන විට මෙය දෙගුණයක් වේ යැයි අනුමාන කෙරෙනවා.

අපි භාවිතා කරන ප්ලාස්ටික් වලින් 50%ක්ම එක් වරක් භාවිතා කර කසළ ලෙස බැහැර වෙනවා. නමුත් ඒ ප්ලාස්ටික් කිහිප වතාවක් භාවිතා කල හැකිව තුබුණා පමණක් නොව කිහිප වතාවක්ම ප්‍රතිචක්‍රීයකරණයද කළ හැකිව තිබුනා.

දැනට ඉවතලන ප්ලාස්ටික් බෑග් වලින් 5%ක වගේ ඉතා කුඩා ප්‍රමාණයක් තමයි ප්‍රතිචක්‍රීකරණය වන්නෙ. ඉතිරි 95% ම කසළ ලෙස පරිසරයට මුදා හැරෙන අතර ඒවා තුළ මිනිස් හා සත්ත්ව ශරීරයන්ට විශ සහිත වන රසායනික මුදා හරින ප්ලාස්ටික් වර්ග බොහොමයක් තිබෙනවා.

ලංකාවට අදාල දත්ත හිඟ උනත්, ඇමරිකානුවන් සම්බන්ධ දත්ත අනුව, සාමාන්‍ය ඇමරිකානුවෙක් වසරකට ප්ලාස්ටික් කිලෝ ග්‍රෑම් 400-500ක් පමණ ප්‍රමාණයක් කසළ ලෙස පරිසරයට එකතු කරනවා. (ඇමරිකා එක්සත් ජනපදයේ 2017 වසරේ ගණනය කරන ලද ජනගහණය මිලියන 326ක්.)

අපි පරිසරයට එකතු කරන මුළු කසළ ප්‍රමාණයෙන් 10%ක් පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වනවා. අපි මේව එකතු කරන්නෙ අපගේ වටපිටාවට හෝ ජලයට වෙන්න පුළුවන්. මේ ප්ලාස්ටික් වලින් සමහරක් ඉතා සෙමෙන් දිරා යන විට සමහරක් කවදාවත් දිරා යන්නේ නෑ.

ඔබ දන්නවාද? 2016 වසරේදී ලෝකය පුරා ප්ලාස්ටික් බෝතල් බිලියන 480ක් විකිණිලා තිබෙනවා. ඒවායින් බිලියන 110ක් නිෂ්පාදනය කරල තිබෙන්නේ කොකා කෝලා සමාගම විසිනුයි.

ලංකාව තුළ එතරම්ම නොවුවත්, ඇමරිකාව විසින් පමණක් වසරකට ප්ලාස්ටික් බෝතල් බිලියන 35ක් කසළ ලෙස බැහැර කරනවා. බෝතල් කළ පානීය ජලය ඉතා පහසුවෙන් මිලට ගැනීමට හැකි වීමයි මේකට හේතුව. මේ බෝතල් පහසුවෙන්ම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වුවත් එය සිදු වෙන්නේ ඉතාම අඩු මට්ටමකින්.

ඔබ දන්නවාද? ප්ලාස්ටික් තුළ අඩංගු BPA (Bisphenol A) හා Poly Chlorinated biphenyl (PCB) කියන රසායනිකයන් අපගේ ශරීරයට අවශෝෂණය කර ගත හැකි බව? මේ රසායනිකය, ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් ක්‍රීඩා උපාංග, සීඩී තැටි, එපොක්සි රෙසින් යොදන ලද ජල නල වල, ප්ලාස්ටික් ආලේපනය කරන ලද ආහාර/බීම දවටන/කෑන් වල, බිල් ප්‍රින්ට් කරන thermal papers වල තියෙනව. මේව යම් යම් ප්‍රමාණ වලින් අපේ ශරීරයට උරා ගන්න හැකියාවක් තියෙනව. ඒ හරහා ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වීම් හරහා විවිධ සෞඛ්‍යමය ගැටළු ඇති වෙන්න පුළුවන්. \

දැනට මේ ලෝකයේ නිෂ්පාදනය කර තිබෙන ප්ලාස්ටික් වලින් 97%ක්ම තවමත් ඒ නිෂ්පාදිත ආකාරයෙන්ම හෝ පොඩි වෙනසක් සහිතව පරිසරයේම පවතිනවා. කුඩා ප්‍රමාණයක් incinerate කළත් වැඩි ප්‍රමාණයක් එහෙමම තියෙනව.

ප්ලාස්ටික් කිව්වම ලොකු බෝතල්, බෑග්, උපකරණ විතරක්ම නෙමෙයි තියෙන්නෙ. ඉතා කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් අපද්‍රව්‍යත් පරිසරය තුළ තිබෙනවා. පරිසරය තුළ, විශේෂයෙන්ම ජලයේ, ක්ෂුද්‍ර ප්‍රමාණයේ (මිලිමීටර් කිහිපයක සිට මයික්‍රොමීටර් කිහිපයක දිගක් ඇති) ප්ලාස්ටික් කොටස් මිශ්‍ර වෙලා තිබෙනවා. මේව මිනිස් හා සත්ත්ව ශරීර තුළට පහසුවෙන්ම ඇතුළු වී, ශරීර තුළ එකතු වී, විවිධ සෞඛ්‍ය අවදානම් ඇති කිරීමේ හැකියාවක් පවතිනවා.

මෙසේ ප්ලාස්ටික් ශරීර ගත වීම නිසා වසරක් තුළ සාගර ආශ්‍රිත පක්ෂීන් මිලියනයකට අධික ප්‍රමාණයකුත්, සාගර ජීවින් 100,000කට අධික ප්‍රමාණයකුත් මිය යනවා.

Plastic නිසා කුඩා කාලයේදීම කරදරයට ලක්වූ කැස්බෑවෙක්.
පොලිතින් නිසා මුව ආවරණය වී කුසගින්නේ මියැදුනු කැස්බෑවෙක්
ප්ලාස්ටික් ආහාරයට ගැනීම නිසා මියගිය මුහුදු පක්ෂියෙකුගේ බඩ තුළ තිබූ දේ

සාගරයේ ඇති කසළ වලින් 90%කටම වග කියන්නේ ප්ලාස්ටික් අපද්‍රව්‍යයන්. ඒ ප්‍රමාණය

සාගර වර්ග කිලෝමීටරයකට ප්ලස්ටික් කොටස් 18,000-20,000ක් පමණ වනවා.

සාගර ජලයට එකතු වන ප්ලාස්ටික් ප්‍රමාණ

ප්ලාස්ටික් පහසුවෙන් දිරා යන අපද්‍රව්‍යයක් නොවන නිසා ඒවා පරිසරය තුළ වසර සිය ගණනක් නොනැසී පවතිනවා වගේම ඒ හරහා විවිධ සෞඛ්‍ය අවදානම් ඇති කරනවා. සමහර ප්ලාස්ටික් එසේම පවතින අතර සමහර ප්ලාස්ටික් කුඩා කොටස් වලට කැඩී ගියත් නොදිරා පවතිනවා. මේ කුඩා කොටස් වලට දිරා යාමට වසර 500-1000ක් වගේ ගත විය හැකියි. නමුත් මේ දිරා යාමක් නොවෙයි. කුඩා කොටස් වලට කැඩී යන ප්ලාස්ටික්, ප්ලාස්ටික් ලෙසම පරිසරය දූෂණය කරනවා.

විවිධ අපද්‍රව්‍ය දිරායාමට ගත වන කාලය

ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය සඳහා පමණක්, වසරකට ජලය ලීටර් බිලියන 320ක් පමණ අවශ්‍ය වනවා.

සමහර රටවල් දැනටමත් ප්ලාස්ටික්, පොලිතින් තහනම් කර හෝ සීමිත කිරීම් සිදු කර තිබෙනවා. ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය, බන්ග්ලාදේශය, චීනය, ඉන්දියාව එසේ සිදු කර ඇති රටවල් කිහිපයක්.

ඉතින් මේ ඉහත කියවුනේ, ප්ලාස්ටික් වලින් සිදු වන විනාශයෙන් සුළු ප්‍රමාණයක් පමණයි. මෙතන නොකියවුනු තවත් විශාල කරුණු රාශියක් ප්ලාස්ටික් වලින් සිදුවන හානිය ගැන තිබෙනවා.

අපිට මොනවද කරන්න පුළුවන්???

අපි දැන් යම් ආකාරයකට දන්නව ප්ලාස්ටික් වල හානිය කෙතරම්ද, ප්ලාස්ටික් වලින් මිනිසුන්ට/සතුන්ට වන හානි මොනවද කියල. ඉතින් මේ හානිය දශමයකින්වත් අඩු කරගන්න අපිටත් දෙයක් කරන්න පුළුවන් නම් කොතරම් හොඳද නේද?

කණ්ඩායම් එකතු වෙලා හිතන්න, දේවල් කරන්න පුළුවන්, නමුත් ඊටත් වඩා පහසුයි තනි තනිවම දේවල් හිතල සිදු කරන එක. ඒක අපි හැමෝටම පුළුවන්.

ඉතින් ඔබත් අදම අරඹන්න.

ඉතා සුළු දේකින් හෝ ප්ලාස්ටික් වලින් වන විනාශය අඩු කරන්න සහය දෙන්න ආරම්භ කරන්න.

එක් පොලිතින් බෑගයක් තවත් වරක් භාවිතා කිරීම වගේ සුළු දේකින් පවා ඔබට මේ දේට සහභාගි වෙන්න පුළුවන්.

Leave a Reply